Wednesday, May 25, 2011

ප්‍රභාකරන්ගෙන් මුදාගත් භූමිය ආර්.සම්බන්ධන්ටද ?

ඔසමා බින්ලාඩන් සහ අල්කයිඩා සංවිධානයටත් වඩා ජීවිත සහ දේපළ වැනසු ප්‍රභාකරන් සහ කොටි සංවිධානය විනාශකර ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාවන් විසින් යුක්‌තිය ඉටුකර පසුගිය 19 දාට වසර 2 ක්‌ සම්පූර්ණ විය. කොටි සංවිධානය සහ ප්‍රභාකරන් විනාශ කිරීම යුක්‌තිය ඉටු කිරීමක්‌ වන්නේ ඔවුන් ජීවිත සහ දේපළ වැනසූ නිසාම පමණක්‌ නොවේ. එම ක්‍රියාමාර්ග යුක්‌තිය ඉටු කිරීමක්‌ වන්නේ සියවස්‌ ගණනාවක්‌ ඒකීය රාජ්‍යයක්‌ ලෙස පැවැති මෙරට, ව්‍යාජ ඉතිහාසයක්‌ මත පදනම් වී බෙදා වෙන්කිරීමේ දේශපාලන උපායක්‌ ලෙස ජීවිත සහ දේපළ විනාශ කිරීමට කටයුතු කළ බැවිනි.

එබැවින් ප්‍රභාකරන් සහ කොටි සංවිධානය විනාශකර දෙවසරක්‌ සම්පූර්ණ වන මෙම අවස්‌ථාවේදී කොටි සංවිධානය සහ ප්‍රභාකරන් විනාශ කර ජයගත් එම අරමුණ කෙතෙක්‌ දුරට ස්‌ථාවර ජයග්‍රහණය බවට ඇද්ද යන්න සලකා බැලිය යුතුය. කොටි සංවිධානය සහ එහි නායකත්වය විනාශ කිරීමත් සමගම එතෙක්‌ එම සංවිධානය කර ගෙන ගිය ත්‍රස්‌තවාදි ක්‍රියාවන්ට තිත තැබීමට මෙරට ආරක්‌ෂක හමුදාවන් සහ පොලිසිය සමත්වී ඇත. එම ජයග්‍රහණය විශාල ජයග්‍රහණයක්‌ බව සඳහන් කළ හැක. එමෙන්ම එම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා 2007 සැප්තැම්බර් මස මන්නාරමෙන් ආරම්භ කර අවසානයේදී වෙල්ලමුල්ලිවයිකාල් සහ නන්දිකඩාල් කලපුවෙන් අවසන් කළ මානුෂිය මෙහෙයුම ද සුවිශේෂ ජයග්‍රහණයන් බව සඳහන් කළ හැක.


එසේ වූවද එම ජයග්‍රහණය සම්බන්ධයෙන් සමහරුන් ප්‍රකාශ කරන කරුණු එසේම නිවැරදි නොව බවද සඳහන් කළ යුතුය.ඒ විශේෂයෙන්ම දැන් උත්සන්න වී තිබෙන තත්ත්වය තේරුම් ගැනීම සඳහාය.

සමහරුන් ප්‍රකාශ කරන ආකාරයට ප්‍රභාකරන් ඇතුළු කොටි නායකත්වය බේරාගැනීම සඳහා බහිර රටවල් දැඩි උත්සාහයක්‌ දැරුවත් එම ප්‍රයත්නය පරාජය කර එය නොතකා කොටි සංවිධානය විනාශ කිරීමට අප සමත්වූ බවට කරන ප්‍රකාශ අතිශයෝක්‌තියෙන් යුක්‌ත බව සඳහන් කළ යුතුය. අප එසේ සඳහන් කරන විට එසේ නම් බටහිර රටවල් කොටි සංවිධානය පසු පසින් සිටියේ නැද්ද යනුවෙන් සමහරුන් අපගෙන් විමසීමට ඉඩ ඇත. යම් අයකු අපගෙන් එසේ විමසනවා නම් අපට ඉතා කෙටියෙන් ප්‍රකාශ කිරීමට තිබෙන්නේ කොටි සංවිධානයට බටහිර සහයෝගය හිමි වූ බවයි. නමුත් එම සහයෝගය පළමුව පෙඩරල් රාජ්‍යයක්‌ හෝ සහසන්ධිය රාජ්‍යයන් පිහිටුවීම සඳහා පමණක්‌ බව අපගේ ස්‌ථාවරයයි. ප්‍රභාකරන් ඉන්දු ලංකා ගිවිසුම හරහා ස්‌ථාපිත කළ පළාත් සභා ක්‍රමයට එරෙහිවූ අවස්‌ථාවේදී එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌වරයා ලෙස කටයුතු කළ ඡේ. එන්. ඩික්‌සිත් මහතා ප්‍රකාශ කොට ඇත්තේ පළාත් සභා ක්‍රමය පිළිබඳව සලකා බැලීමකින් තොරව ඊට එරෙහි වනවා නම් ඔබගේ අරගලයට අප නොමැති බව මතක තබාගන්න ලෙසයි. ප්‍රභාකරන් 2009 මැයි මාසයේදී වෙල්ලමුල්ලිවයිකාල් සහ නන්දිකඩාල් කලපුවේ සිරවී සිටියදී පවා ඔහු බේරා ගැනීsමට ඉන්දියාව නොපැමිණියේ ඉහත සඳහන් කළ ඩික්‌සිත්ගේ ප්‍රකාශ අනුව ඉන්දීයාව කටයුතු කිරීම නිසා සහ ප්‍රභාකරන් විසින් රාජිව් ගන්ධි මරාදැමීම නිසා බව පැහැදිලිය. අපගේ පිළිගැනීම වන්නේ කොටි නායක ප්‍රභාකරන්, ඔස්‌ලෝ සම්මුතිය හරහා බටහිර රටවල් ලබාදීමට සූදානම් වූ පෙඩරල් රාජ්‍යය හෝ සහසන්ධිය රාජ්‍ය ප්‍රතික්‍ෂේප කිරීම නිසා අවසානයේදී බටහිර රටවල් ප්‍රභාකරන් බේරා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්‌ටමින් සෘජු ප්‍රයත්නයක්‌ නොදැරූ බවයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල යම් කාරණයක්‌ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක්‌ ගෙන කටයුතු කරන්නේ නම් කුමන ස්‌වරූපයක්‌ ගනු ඇත්ද යන්න අද ලිබියාවේ ක්‍රියාත්මක වන තත්ත්වය තුළින් මෙන්ම සූඩානය සහ සර්බියාව බෙදා වෙන් කිරීම සඳහාද ඔවුන් කටයුතු කළ ආකාරයෙන් අපිට තෙරුම් ගත හැක. නමුත් බටහිර රටවල් ප්‍රභාකරන් මුදා ගැනීම සඳහා එබඳු ස්‌ථාවරයක්‌ නොගත් බැවින් ප්‍රභාකරන් මුදා ගැනීම සඳහා බටහිර රටවල් අනුගමනය කළ ස්‌ථාවරය පිළිබඳව, මුහුදේ නවතා ඇති නැව්වල සිට කොටි ගුවන් යානා පැමිණෙන බව සඳහන් කළ පුද්ගලයන් කරන ප්‍රකාශ අපට පිළිගත නොහැක.

කොටි සංවිධානය සම්බන්ධයෙන් 2009 මැයි මාසයේදී බටහිර රටවල් සහ ඉන්දියාව අනුගමනය කළ ස්‌ථාවරයන් වැදගත් වන්නේ දැන් උදාවී ඇති තත්ත්වය තේරුම් ගැනීම සඳහාය. කොටි සංවිධානය හා ප්‍රභාකරන් විනාශ වී දෙවසරක්‌ සම්පූර්ණ වන මෙම අවස්‌ථාවේදී තවදුරටත් බෝම්බ පුපුරන්නේ නැති එක පිළිබඳව සහ තවදුරටත් කොටි පාලන ප්‍රදේශ නොමැති කාරණය පිළිබඳව සතුටු විය හැකි වුවත් කොටි සංවිධානය සහ ප්‍රභාකරන් පෙනී සිටි සහ ත්‍රස්‌තවාදි ක්‍රියාවන් සිදුකළ දේශපාලන අරමුණ නොනැසී පැවතීම පිළිබඳව නම් සතුටු විය නොහැකි.

ප්‍රභාකරන් සහ කොටි සංවිධානය විනාශ වී දෙවසරක්‌ සම්පූර්ණ වන මෙම අවස්‌ථාව වන විට උදාවී තිබෙන්නේ ප්‍රභාකරන්ගෙන් මුදාගත් භූමිය ආර්. සම්බන්ධන්ට සහ දෙමළ ජාතික සංධානයට ලබාදීමට සිදුවන තත්ත්වයකි. මේ මොහොත වන විට ඒ සඳහා ඉන්දියාව මෙන්ම බටහිර රටවල් ද පැහැදිලි ලෙසම බලපෑම් කරන අයුරු දැකගත හැක. ඒ සඳහා බටහිර රටවල් වලට ඔස්‌ලෝ සම්මුතිය හොඳ අවස්‌ථාවක්‌ වී ඇති අතරම 2009 දී පවතින ආණ්‌ඩුව ඉන්දියාවේ බලපෑම් මත සර්ව පාක්‌ෂික සමුළුව හරහා පළාත් සභා ක්‍රමය බලාත්මක කර ක්‍රියාත්මක කරන බවට ප්‍රධාන වශයෙන්ම ඉන්දියාවට ලබාදුන් ප්‍රතිඥව දැන් එම රටට හොඳ අවස්‌ථාවක්‌ වී ඇත.

මෙම සියලු සාධකයන් හරහා දැන් උදාවී තිබෙන්නේ ප්‍රභාකරන්ගෙන් මුදාගත් උතුර සහ නැගෙනහිර අනෙක්‌ අතින් ආර්. සම්බන්ධන්ට ලබාදීමට සිදුවී ඇති තත්ත්වයකි. බෙදුම්වාදී බලවේග සමග ගමන් කරමින් ඔවුන් සතුටු කිරීම සඳහා කටයුතු කිරීමේ තත්ත්වයට ආණ්‌ඩුව පත්වී නොමැති වූවත් උදාවී ඇති තත්ත්වය හමුවේ ආණ්‌ඩුව කටයුතු කරන අයුරු පිළිබඳව නම් සෑහීමකට පත්විය නොහැක.

දැන් උදාවී ඇති තත්ත්වය බඳු තත්ත්වයක්‌ උදාවන බව 2009 ට පෙර දීම අවබෝධ කර ගත යුතුව තිබිණි. නමුත් ආණ්‌ඩුව තබා මහා ප්‍රාඥයන් සේ කටයුතු කරන පුද්ගලයන් පවා ඒ සමයෙහි ප්‍රකාශ කොට සිටියේ ප්‍රභාකරන්ගේ අවසානයත් සමග සියල්ල අවසන් වන බවයි. නමුත් එය එසේ නොවන බව දැන් පසක්‌ වී ඇත. එසේ වුවත් උදාවී ඇති තත්ත්වයට නිසි ආකාරයෙන් මුහුණ දෙන බව නම් සඳහන් කළ නොහැක.

දැන් උදාවී තිබෙන්නේ ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික සංධානය පෙඩරල් රාජ්‍යයක්‌ තුළ අංගසම්පූර්ණ දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ ඉල්ලා සිටින තත්වයයි. 1987 දී ඉන්දියානු බලපෑම් මත ස්‌ථාපිත කරන ලද 13 වන සංශෝධනය මගින් දැනටත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම උතුර සහ නැගෙනහිර භූමිය දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජ භූමිය ලෙස පිළිගෙන ඇත. දැන් දෙමළ ජාතික සංධානයට අවශ්‍ය වී ඇත්තේ එම භූමියට ඉඩම්, අධිකරණ සහ පොලිස්‌ බලතල ලබාගැනීමයි. දැන් දෙමළ සංධානය ආණ්‌ඩුව සමග සාකච්ඡාවට පිවිස සිටින්නේ කොටි සංවිධාන අවියෙන් ලබා ගැනීමට සූදානම් වූ දෙය සාකච්ඡාවෙන් ලබාගැනීම සඳහාය.

සැබවින්ම දැන් මෙරට තුළදී උද්ගතවී තිබෙන්නේ 1948 පෙර මෙරට තුළ පැවැති තත්ත්වයකි. 1948 පෙර මෙරට එංගලන්තයට යටත් වී සිටිය අතර ඒ අවස්‌ථාවේදී එංගලන්ත රජය මෙරට නායකයන් සමග බලතල බෙදා හදා ගැනීමට සඳහා සාකච්ඡා කළහ. දෙමළ සංධානයේ ස්‌ථාවරය වී තිබෙන්නේ ද තම නිජ භූමිය සිංහල අධිරාජ්‍යයකට යටත් වී තිබෙන බවයි. තම ඓතිහාසික නිජ භූමිය 16 වන සියවසේදී පෘතුගීන්ට යටත්වූ බවත් ඉන් අනතුරුව, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන වලින් අනතුරුව 1948 දී තමන් සිංහල අධිරාජ්‍යයට යටත් වූ බව ප්‍රභාකරන්ගේ මෙන්ම ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ නායකයන්ගේ ස්‌ථාවරය වී තිබේ. මෙම චෝදනාව 13 වන සංශෝධනය හරහා උතුර සහ නැගෙනහිර දෙමළ ජනතතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගැනීමෙන්, පිළිගෙන ඇත. එම තත්ත්වය පිළිගැනීමෙන් අනතුරුව උදාවන්නේ යටත් කරගෙන සිටින දෙමළ ඊළමට තවදුරටත් බලය ලබාදෙන්නේ කෙසේද කියන සාකච්ඡාව පමණි. ආණ්‌ඩුව නොදැනුවත්ව හෝ දෙමළ සංධානය සමග සාකච්ඡා කරන්නේ නම් උදා වන්නේ එම තත්ත්වය මිස වෙනත් තත්ත්වයක්‌ නොවේ.

උදාවී ඇති තත්ත්වය එතරම් ශූභවාදී නොවන බව ආණ්‌ඩු පක්‌ෂයට අවබෝධ වී ඇති බව දෙමළ ජාතික සංධානය සමග සාකච්ඡා කරන ආණ්‌ඩුවේ සාකච්ඡා කණ්‌ඩායමේ සාමාජිකයකු වූ රත්නසිරි වික්‍රමනායක මහතාගේ ඉල්ලා අස්‌වීමෙන් සහ ඒ පිළිබඳව ඔහු නිකුත් කර ඇති නිවේදනයෙන් පැහැදිලි වේ. වික්‍රමනායක මහතා ඉල්ලා අස්‌වූවත්, ආණ්‌ඩුව තවදුරටත් දෙමළ ජාතික සංධාන සමග සාකච්ඡා කිරීමට සිදුවන තත්ත්වයන් උදාවී ඇත. එහිදී ආණ්‌ඩුවේ ස්‌ථාවරය වී තිබෙන්නේ උත්තර මන්ත්‍රී මණ්‌ඩලයක්‌ ස්‌ථාපිත කර දෙමළ සංධානය සතුටු කිරීම බව පෙනේ. මණ්‌ඩලය පිළිබඳව සාකච්ඡා කළ හැකි බව දෙමළ ජාතික සංධානයේ ස්‌ථාවරය වී තිබේ. කොටි සංවිධානය පරාජය කර දෙවසරක්‌ ගත වන මොහොත වන විට උදාවී ඇති තත්ත්වය එයයි. එනම් කොටි සංවිධානය පරාජය කළත් දෙමළ ජාතික සංවිධානයට පෙඩරල් රාජ්‍යයන් තුළ (පළාත් සභා තුළ) දෙමළ ඊළාමක්‌ ලබා දීමට සිදුවන තත්ත්වයයි.

එබඳු තත්ත්වයක්‌ උදාවුවහොත් 2009 මැයි මාසයේදී ප්‍රභාකරන් පරාජය කිරීම සඳහා කළ කැප කිරීම් දැරු පිරිවැය සම්පූර්ණයෙන්ම අපතේ යනවා ඇත. අප එසේ කියන්නේ 1989 දී ඉන්දියන් හමුදාව පිටත් නොකර සිටියානම් උදාවීමට නියමිත තිබුණේද එබඳුම තත්ත්වයක්‌ බැවිනි. 1989 දී දේශප්‍රේමීන්ගේ සහ ජනතා විමුක්‌ති පෙරමුණේ බලපෑම මත ඉන්දියන් හමුදාව, පිටත් නොකළානම් නම්, තව නොබෝ දිනකින් ඉන්දියාව, එවකට මුලතිව් කැලයට සීමා වී සිටි ප්‍රභාකරන් මරා හෝ අත්අඩංගුවට ගෙන පළාත් සභා ක්‍රමය තුළ දෙමළ ඊළම ස්‌ථාපිත කරනවා ඇත. 1989 සිට වසර 20 කින් පසු අප අපගේ වියදමෙන් සහ අපගේ ජීවිත පුදා කරන්නට යන්නේ ඉන්දියාවේ වියදමින් ඉන්දියන් ජීවිත පුදා කරන්නට ගිය දෙයමය. එබැවින් දැන් උදාවී ඇති තත්ත්වය පිළිබඳව එදා ඉන්දියන් හමුදාව පිටවනු කියා පෝස්‌ටර් ගැසූ ඉන්දියන් හමුදාව පිටත් කිරීමට කටයුතු කළ අය පිළිතුරු බැඳිය යුතුව ඇත.

එමෙන්ම කිසි දිනක පරාජය කළ නොහැකි ප්‍රභාකරන් පරාජය කළ ආණ්‌ඩුව මෙබඳු තත්ත්වයකට පත්වූයේ ඇයි ද යන කාරණයත් විමසා බැලිය යුතුය. ඓතිහාසික යුද ජයග්‍රහණයෙන් අනතුරුව ආණ්‌ඩුව මෙන්ම ආණ්‌ඩුව පිටතින් සිටින ප්‍රාඥයන්ද ප්‍රකාශ කොට සිටියේ දැන් ඉතිරිව ඇත්තේ උතුර සහ නැගෙනහිර සංවර්ධන කිරීම පමණක්‌ බවයි. ආණ්‌ඩුව ක්‍රියාත්මක කරන සංවර්ධනය හරහා වඩාත්ම ශක්‌තිමත් වන්නේ මධ්‍යම පංතියයි ජාතික සහ ආගමික කටයුතු සඳහා ද වැඩිපුරම සංවේදී වන්නේ ද මෙම පංතියමය. ආණ්‌ඩුවේ සහ ප්‍රඥයන්ගේ උපදෙස්‌ සහ සැලසුම් අනුව උතුර සහ නැගෙනහිර සංවර්ධනය වන මධ්‍යම පංතිය දැන් දැන් ජාතික සහ ආගමික කරුණු ද කෙරෙහි ද උනන්දුවක්‌ දක්‌වන බව පසුගිය පළාත් පාලන මැතිවරණ තුළින් ද පැහැදිලි විය යුතුයි. එබැවින් උතුර සහ නැගෙනහිර සංවර්ධනයෙන් දෙමළ බෙදුම්වාදය ජයගත නොහැක යන කාරණය තෙරුම් ගෙන දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම සඳහා දේශපාලන ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. ඒ සඳහා කටයුතු නොකළහොත් අවසාන ඵලය වන්නේ ඉන්දියන් වියදමින් ඉන්දියානු ජීවිත පුදා දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණට සින්නක්‌කර ලබාදීමට ගිය උතුර සහ නැගෙනහිර භූමිය වසර 20 කට පසු අපගේ වියදමින් සහ අපගේ ජීවිත පුදා ප්‍රභාකරන්ගෙන් මුදා ගෙන දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ අනුප්‍රාප්තිකයා වූ දෙමළ ජාතික සංධානයට සින්නකර දීම පමණි.

එය නම් ජාතියට යුක්‌තිය ඉටු කිරීමක්‌ වන්නේ නැත. එය දෙමළ ජාතිවාදි බෙදුම්වාදයට යුක්‌තිය ඉටුකිරීමකි.
C:http://lankacnews.com

No comments:

Post a Comment

Hero